ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුනි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කරන ලදි.
හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්වූ අතර වනිඳු හසරංග ලකුණු 36ක් හා ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබා ගන්නා ලදි.
පන්දු යැවීමේදී හැරිස් රවුෆ් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි.
මෙම 171ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන කන්ඩායමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් දැඩි අභියෝගයක් එල්ල කළ අතර ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් ද ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් ද ලබාගන්නා ලදි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
ආසියානු කුසලානය වසර 8කට පසුව ශ්‍රී ලංකාවට දිනාදීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.